(පුෂ්පකුමාර ජයරත්න)
ගුරුවරියකට අයත් සොරකම් කරන ලද යතුරු පැදියක් මුහුණු පොතේ විකුණන්න දමා තිබියදී පන්තියේ සිසුවකු සොයා දීමේ පුවතක් නාරම්මල පොලීසියෙන් වාර්තාවේ.
නාරම්මල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ස්කූටර් වර්ගයේ යතුරු පැදිය ඇගේ නිවසේ නවතා තිබියදී පසුගිය දිනයක රාත්‍රියේදී කිසිවකු සොරකම් කරගෙන ගියේය.
ඇය ඒ සම්බන්ධයෙන් නාරම්මල පොලීසියේ පැමිණිල්ලක් දමා සොරකම් කරන ලද යතුරු පැදිය පිළිබඳ විස්තර තම පන්තියේ සිසුන්ටද දන්වා තිබිණි.
මේ පිළිබඳව අවධානයෙන් පසුවූ එක් සිසුවකු මුහුණු පොතේ යතුරු පැදි විකිණීමට පළ කරනු ලබන විස්තර දැක තම ගුරුවරිය පරිහරණය කළ යතුරු පැදිය හා සමාන යතුරු පැදියක් එක් පිටුවක විකිණීමට දමා ඇති ආකාරය දැක තිබේ.
තම ගුරුවරියට අයත් යතුරු පැදියේ ආසනයේ එක් කොටසක් ඉරී තිබෙන බව දුටු ඔහු දිනක් පාසලේදී ඒ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් විමසා ඉරී ගොස් ඇති ආසනය සකසා ගන්නා ආකාරය පිළිබඳව ඇය දැනුවත් කර ඇත.
මේ මතකය තුළින්ම මුහුණු පොතේ දමා තිබූ යතුරු පැදිය පහසුවෙන්ම හඳුනාගත් සිසුවා එය තම ගුරුවරියට අයත් යතුරු පැදිය බව වටහාගෙන ඇත. පසුව ඒ පිළිබඳව නාරම්මල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
යතුරු පැදිය විකිණීමට මුහුණු පොතේ පළ කර තිබූ දුරකථන අංකයට උපාය දූතයකු යොදා ඇමතුමක් ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් යතුරු පැදිය මිළදී ගැනීමට කතා කර එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව යතුරු පැදිය පන්නල මාකඳුර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ අවස්ථාවේදී යතුරු පැදිය සමඟ එය රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. විකිණීම සඳහා ගෙනා යතුරු පැදිය තම යතුරු පැදිය බවට පැමිණිලිකාර ගුරුවරිය විසින්ද හඳුනාගෙන තිබුණි.

